තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන - 2026 අගමැති ප්‍රධානත්වයෙන් අද (28) ගාල්ලේදී....
තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන - 2026 අගමැති ප්‍රධානත්වයෙන් අද (28) ගාල්ලේදී....
තමන්ගෙම කියා නිවසක් නොමැතිව පීඩාවට පත් වූ සෑම කෙනෙකුගේම නිවාස සිහිනය සිහිනයක් වන්නට ඉඩ නොදී තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක් සැබෑ කරමින් නිවහනක අයිතිය ලබාදීම වෙනුවෙන් 2026 ජාතික නිවාස වැඩසටහන ක්‍රියාත්මකයි. ඉන් ඉදිකිරීමට අපේක්ෂිත නව නිවාස සංඛ්‍යාව තිස් එක්දහසකි.
රාජ්‍ය නිවාස ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන මෙරට නිල ආයතනය වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියද වැඩසටහන් ගණනාවක් ඔස්සේ පහළොස්දහසකට අධික වූ නව නිවාස ප්‍රමාණයක් 2026 වසර තුළ අවසන් කර මෙම ජාතික වැඩසටහනට තම දායකත්වය ලබාදීමට සැලසුම් කර තිබේ.
එහි එක් පියවරක් වශයෙන් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ආධාර මුදලක් ලබාදෙන "තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මකයි. 2026 වර්ෂය වෙනුවෙන් මෙම වැඩසටනෙහි සමාරම්භක උළෙල අද (28) පැවැත්වුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙනි. ඒ ගාල්ල 'හෝල් දි ගෝල්' ශාලාවේදීයි.
මෙම වැඩසටහන්; නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ මගපෙන්වීමෙන්ද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ අධීක්ෂණයෙන්ද ක්‍රියාත්මකයි. මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබුණේ ඔවුන්ගේද සහභාගීත්වයෙනි. එමෙන්ම අමාත්‍යාංශ අතිරේක ලේකම් (ආයතන හා නැවත පදිංචිකිරීම්) ඊ.එම්.එම්.බී ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් ද මෙම වැඩසටහන වෙනුවෙන් තම පූර්ණ දායකත්වය ලබාදුන්හ.
ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතාවය හදුනාගත් ප්‍රතිලාභීන් 207 දෙනෙකු සදහා චෙක්පත් බෙදා දීම මෙහිදී සිදුකෙරිණ. ඊට අමතරව නිවාස ණය වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් දෙදෙනෙකුට චෙක්පත් ප්‍රදානය කිරීම ද සමගාමීව සිදුකෙරිණ.
මෙම වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ 2026 වසරේදී ඉදිකිරීමට අපේක්ෂිත මුළු නිවාස ගණන 1043 කි. ඒ සදහා වන මුළු ප්‍රතිපාදනය රුපියල් මිලියන 1034 කි. එය ඉකුත් 2025 වසරට සාපේක්ෂව තෙගුණයක ඉලක්කයක් වීමද විශේෂත්වයකි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කළමනාකරු ඉන්දික රණගල මහතා ඇතුළු සමස්ත නිළධාරී මණ්ඩලයේ කැපවීමෙන් මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබිණ.
එම අවස්ථාව සදහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නලීන් හේවගේ මැතිතුමා , ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් සහභාගී විය. ඊට අමතරව ගාල්ල දිස්ත්‍රීක් ලේකම්තුමා ප්‍රමුඛ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා , සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක්ද මෙම ජාතික උත්සවයට සහභාගී වූහ.
No Comments