තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියරේ චෙක්පත් ප්‍රදානය අද

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ලාංකීය ප්‍රජාවට උරුම කර දීම වත්මන් රජයේ ඉලක්කයයි. අඩුආදායම්ලාභී සියලුම පවුල්වල ජනතාවගේ නිවාස ආශ්‍රිත ගැටළුවලට විසඳුම් සෙවීම ද එම ඉලක්ක යථාර්ථවත් කිරීමේ ප්‍රමුඛතම අංගයක්. ඒ වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය මගින් වැඩසටහන් රාශියක් 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සමස්ත වැඩසටහන යටතේ ඉදිකිරීමට අපේක්ෂිත සමස්ත නිවාස සංඛ්‍යාව 31,218 කි. 

ඉන් ප්‍රමුඛතම වැඩසටහන වන “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි. දිවයිනේ සෑම ග්‍රාම නිළධාරී වසමකටම එක් නිවසක් බැගින් ග්‍රාම නිළධාරී වසම් 14,016 ආවරණය වන පරිදි පැල්පත් හෝ තාවකාලික නිවාසවල ජීවත් වන ප්‍රජාව වෙත නව නිවසක් ඉදිකරගැනීම සදහා ආධාර මුදලක් පිරිනැමීම මේ යටතේ සිදු කෙරේ.වැඩසටහන මගින් මෙම වසර තුළ ආවරණය වන ග්‍රාම සේවා වසම් සංඛ්‍යාව 1,787 කි. 

ඉන් නිවාස 9,700 ක් 2026 වසරේ දී නිම කිරීම අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 9,700 ක්. ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාමසේවා නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් හදුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ දහයක ආධාර මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ලබා දේ. ඊට අමතරව නිවාස සංවර්ධනය සඳහා අවශ්‍ය මෙහෙයවීම  හා තාක්ෂණික සහාය ද දිස්ත්‍රික් කාර්යාලවල තාක්ෂණික නිළධාරීන්ගේ දායකත්වයෙන් සිදුකරයි. ප්‍රජා සහභාගීත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් මිලියනයක වඩා වැඩි වටිනාකමක් නිවසකට ලබා දීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අරමුණයි.

මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේදී පැවැත්වුණේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රතිලාභීන් 250 දෙනෙකු සදහා චෙක්පත් ප්‍රදානය කරමිනි. වැඩසටහනේ මුල් අදියරේ ප්‍රතිලාභීන් හට චෙක්පත් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහන දිස්ත්‍රික්ක 13 ක් මුල් කරගනිමින් අද (25) පැවැත්වේ. ඒ අනුව ප්‍රතිලාභී පවුල් 1,500 කට රුපියල් මිලියන 1,500 ක් මෙහිදී ආධාර වශයෙන් ලබා දෙනු ඇත. එම දිස්ත්‍රික්කයන්හි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ සංවිධානයෙන් සංවර්ධන කටයුතු සිදුකරයි. ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන් ම දේශපාලන තන්ත්‍රයේ ද මැදිහත්වීමෙනි.

මෙම අදියර යටතේ මොනරාගල, කළුතර හා පෙලොන්නරුව  දිස්ත්‍රික්කවලට නිවාස 100 බැගින්ද, මහනුවර දිස්ත්‍රික්කයට 170 ක්, මාතර දිස්ත්‍රික්කයට නිවාස 112 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට නිවාස 105ක්, මඩකලපුව දිස්ත්‍රික්කයට නිවාස 120 ක් මේ යටතේ ඉදිකෙරේ.අම්පාර දිස්ත්‍රික්කයට නිවාස 110ක්, පුත්තලම හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට නිවාස 125 බැගින්ද, රත්නපුර දිස්ත්‍රික්කයට නිවාස 110ක් ද වෙන් කර තිබේ. වැඩසටහනේ වැඩිම චෙක්පත් සංඛ්‍යාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් අතර බෙදා දීමට නියමිත අතර එම සංඛ්‍යාව 307කි. අද දිනයේදී චෙක්පත් ප්‍රදානය කෙරෙන්නේ මෙම ප්‍රතිලාභීන් 1174 දෙනා වෙනුවෙනි. අනෙකුත් දිස්ත්‍රික්කවල පළමු අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීම මාර්තු මස 24 වැනිදා සිදුකිරීමටද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට කටයුතු සම්පාදනය කර තිබේ.

ඊට අමතරව ජාතික නිවාස වැඩසටහන 2026 ට සමගාමීව රාජ්‍ය සේවකයන්ටත්, සාමාන්‍ය පුද්ගලයන් සඳහාත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල යටතේ නිවාස 3500ක් පමණ ඉදිකිරීමට යෝජිතය. ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ ද ඉදිවන සමස්ත නිවාස සංඛ්‍යාව සැලකිල්ලට ගත් කළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම වසර තුළ නිවාස 16,000 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට නියමිතයි. 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.